Saturday, May 19, 2012

ජීවිතේ මූලිකත්වය

විශාල ජෝගුවක් හා කවරයක් අතැතිව දිනක් මහාචාර්යවරයෙක් තම පන්තියට පැමිනියා. තම සිසුන් ඉදිරියේ සිටගත් ඔහු ජෝගුව ගෙන කවරයේ තිබූ ගල් කැටවලින් ජෝගුව සම්පූර්ණයෙන්ම පුරවා, "මේ ජෝගුව දැන් පිරිලද තියෙන්නෙ?" යැයි සිසුන්ගෙන් විමසුවා. සිසුන් එක හඬින් "ඔව්" යැයි පිළිතුරු දුන්නා. නැවත කවරයට අත දැමූ මහාචාර්යවරයා එහි තිබූ පස් අහුරු කිහිපයක් ජෝගුවට එක් කර එය මනාව සෙළවූවා. එවිට ගල් කැට අතර තිබූ හිඩැස්වලින් පස් ජෝගුව තුළට කිඳා බැස්සා. ඉන් පසු මහාචාර්යවරයා පෙර ප්‍රශ්නයම සිසුන් වෙත යොමු කළා"දැන් මේ ජෝගුව පිරිලද?". සිසුනුත් මහත් කුතුහලයෙන් යුතුව "ඔව්" යැයි පැවසුවා. නැවත කවරයට අත එබූ මහාචාර්යවරයා ඉන් සිහින් වැලි අහුරු කිහිපයක් ජෝගුවට එක් කොට සෙළවූවා. සිහින් වැලි, ගල් කැට හා පස් අතරින් ජෝගුව තුළට කිඳා බැස්සා. නැවතත් මහාචාර්යවරයා සුපුරුදු ප්‍රශ්නය සිසුන් වෙත යොමු කළා. සිසුන් ද සුපුරුදු පිළිතුර ම ලබා දුන්නා.

මදක් සිසුන් දෙස බලා සිටි මහාචාර්යවරය මෙසේ පැවසුවා.

මේ ජෝගුවත් හරියට අපේ ජීවිතය වගේ.මේකෙ තියෙන ගල් කැට හරියට අපේ ජීවිත වලට ඉතා වැදගත් අම්ම තාත්ත, බිරිඳ, දරුවො වගේ. පස් හරියට අපේ ජීවිත වලට යම්තරමකට වැදගත් රැකියාව, යාන වාහන, ගේ දොර වගේ. සිහින් වැලි හරියට අපේ ජීවිතේට එතරම් වැදගත් නොවන දේවල් වගේ.

ඔබ මුලින්ම ජෝගුව වැලිවලින් පිරෙව්වොත්, ගල් කැටවලටවත්, පස් වලටවත් එහි ඉඩ නැති වේවි. අන්න ඒ දේම ඔබේ ජීවිතවලටත් මුහුන පාන්න සිද්ධ වේවි.

ඒ කියන්නෙ ඔබ නොවැදගත්, කුඩා කුඩා දේවල්වලට මූලිකත්වය දුන්නොත්, නොවැදගත් දෙයින් ජීවිතය සම්පූර්ණයෙන් පුරවාගත්තොත්, ඔබේ ජීවිතේට ඇත්තටම වැදගත් දේට ඔබේ ජීවිතේ තුළ ඉඩකඩ නැති වේවි. අන්න ඒ නිසා සෑම විටම ඔබේ ජීවිතේට ඇත්තටම වැදගත් දේට මූලිකත්වය දෙන්න.

දෙමාපියන්ට සළකන්න. බිරිඳ සමග රාත්‍රී අහාරයකට යන්න. දරුවන් සමග සෙල්ලම් කරන්න. ගේ දොර පිළිවෙලට තියාගන්න. යහළු මිත්‍රාදීන්ට සංග්‍රහ කරන්න.

මුලින්ම ගල් කැට ටික හොඳින් බලා ගන්න-ජීවිතේට වැදගත්වන දේට මූලිකත්වය දෙන්න. අනික් සියලු දේ සිහින් වැලි කැට පමණයි

පරිවර්තනයකි

දෑස අහිමි ආදරය


තමන්ගෙ දෑස නොපෙනීම නිසා තමාටත්, ලෝකයාටත් වෛර කළ තරුණියක් හිටිය. ඇය සමාජය සමඟ කෙතරම් වෛරයකින් පසු උනාද කියතොත් ඇයට කිසිම යහළුවෙක් හෝ යෙහෙළියක් ආශ්‍රයට හිටියෙ නැහැ. ඒ කොහොම උනත් ඇගේ වාසනාවට ඇයට ඉතා කරුණාවන්ත ආදරවන්තයෙක් හිටිය. ඔහු, ඇයට ඉතා ලෙංගතුව, ඇයව ආදරයෙන් බලා ගත්ත. මේ තරුණියත් ඔහුට සෑහෙන්න ආදරය කලා. ඒ, සමාජයෙන් නොලැබුණු ආදරය ගෞරවය තම ආදරවන්තයාගෙන් නො අඩුව ලැබුණු නිසා.

දිනක් මේ අන්ධ තරුණිය තම ආදරවන්තයාට, "මට ඇස් පෙනීම ලැබුණොත් මම කරන එකම දේ ඔයාව විවාහා කර ගන්න එක" යැයි පැවසුවා. මෙසේ සති කිහිපයක් ගත වී ගියා. දිනක් මේ තරුණියට ජීවිතේ අසන්නට ලැබුණු සතුටුදායකම ආරංචිය අසන්නට ලැබුණා. ඒ යමෙකු විසින් ඇයට ඇස් දෙකක් පරිත්‍යාග කරන බවයි. ඒ අනුව ඇයට නිරෝගී ඇස් දෙකක හිමිකාරීත්වය හිමි උනා. දැන් ඇයට මුළු ලෝකයම පේනව. ඇගේ ජීවිතය ඉතා සුන්දර එකක් බව ඇයට වැටහෙන්න ගත්ත. ඇය මුලින් ම කලේ තම ආදරනීය පෙම්වතා වෙත යාමයි. එහෙත් ඇය දුටු දෙයි ඇගේ සිත වෙනස් උනා. ඇගේ පෙම්වතත් අන්ධ පුද්ගලයෙක්. "මේ මනුස්සය අන්ධ මිනිහෙක්නෙ. මම මෙච්චර කල් ආදරය කලේ අන්ධ මිනිහෙකුටද? මම වගේ ලස්සන, ඇස් පේන කෙල්ලෙකුට මේ වගේ මිනිහෙක් ගැලපෙනවද?". මේ වගේ අදහස් සිය ගනනක් ඇගේ හිතට ගලාගෙන ආව. දෙපාරක් නොසිතාම ඈ ඔහුගෙන වෙන් උනා.

මෙසේ දින සති ගෙවී ගියා. දිනක් ඈ අතට ඇගේ හිටපු පෙම්වතා අතින් ලියා එවන ලද ලියුමක් ලැබුණා. එහි මෙසේ ලියැවී තිබුණා.

"මගේ ඇස් දෙක පරිස්සමින් බලාගන්න රත්තරං"

පරිවර්තනයකි